ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා
වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා
මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා
නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා