වීදිය බලා රතු සායම් කොපුල් මත
මන්මද බිසෝ විලසින් පා තබන විට
රන්සලු එකින් එක පැත්තට වැටෙන විට
රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම
වෙරි වී පනින මගේ මිනිහට මැණිකේ වුනී
රන්කිරි කට ගාන පුතු වෙත අම්මා වුනී
ඔත්පල අම්මා කීවේ මට සුදු දෝනී
පාරට බැස්ස මට ඇහුනා බඩුව ජොනී
අදටත් යන්නේ රස්සාවට බුදුන් වැඳ
ආසයි මටත් හවසට පංසල් යන්ට
නිලමෙලා ජාති පෙන්නලා එලෙව්වට
මමමයි දන්නේ උන් හංගන කැරැට්ටුව
වැරදුනේ මගේ උපතද මේ මුඩුක්කුවේ
නැතිනම් බැන්ඳ බේබද්ද කසාදයේ
ලැබුවොත් පිනක් උපදින්නට පිරිමි ලොවේ
පෙන්නමි මමත් උඹ දාහට කරන රඟේ
Leave a Reply