හන්තානේ කඳු දන ඇන නමදින
සිරි දළදා හාමුදුරුවනේ
ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවත අන්දා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වෙන හාමුදුරුවනේ
ඇතුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන් දෝ
වනන්තරේ වැඩි සෙනගට අහු වුන
මාරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දාදිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ
කාලය දීපය දේශය දන්නා
මතු බුදු වෙන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු
හමුවුන නැති වග නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
කියන්න දැන් වත් ඇදුරිඳුනේ